සභාපතිතුමාගේ පණිවුඩය
“දකුණේ මුවදොර සුන්දර බෙන්තොට” බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස පත්ව 2026 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට සමගාමීව වර්ග කිලෝමීටර 74.5ක වෙසෙන 50,000ක් වන ආදරණීය සහෝදර ජනතාවට සුබ පැතුමන් එක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි.
ඉතාම තීරණාත්මක මැතිවරණ ප්‍රතිඵලයකට පසුව කිසිදු දේශපාලන බල අධිකාරියකට සෘජුව සභාපති ධුරය ලබාගත නොහැකි වූ මොහොතක දේශපාලන පක්ෂ 04ක හා ස්වාධීන පක්ෂ 02ක ආදරණීය සහෝදර මන්ත්‍රීතුමන් හා මන්ත්‍රීතුමියන් ලා වරප්‍රසාද සියල්ල පසෙකලා ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට නොබියව ධෛර්යයයෙන් හා ආත්ම ශක්තියෙන් එක්ව මා බෙන්තර පළමු පුරවැසියා බවට පත්කිරීමට ගත් තීරණයටත්, එසේම ඒ සඳහා නායකත්වය දුන් දේශපාලන පක්ෂ හතරෙහි නායකයින් හා ස්වාධීන පක්ෂ නායකයන් දෙදෙනාටත් මාගේ හදවතේ ගැඹුරුම තැනින් නැගෙන ගෞරවය, ප්‍රණාමය පුදකිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
2006 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් මා ලැබූ ප්‍රායෝගික හා න්‍යායාත්මක අත්දැකීම තුළින් ඉදිරි කාලසීමාව සමස්ත බෙන්තොට බල ප්‍රදේශයේ ආදරණීය ජනතාවගේ අභිවෘද්ධිය හා සුඛ විවරණය වෙනුවෙන් දිවා රාත්‍රී භේදයකින් තොරව උපරිමයෙන් සේවය කිරීමට සපථ කරමි.
පළාත් පාලන ආයතනයක කාර්යභාරය දරු උපතේ සිට මිනිසුන්ගේ අවසන් සුසුම් පොද වාතලයට මුසු වූ මොහොත දක්වා පමණක් නොව ඉන් ඔබ්බට ආදාහනාගාරයේ දුම්රොටු වාතලයට එක්වන අවස්ථාව දක්වා ගසට පොත්තමෙන් බැඳී ඇති ඉතා සුවිශේෂී කාර්යභාරයක් බව මා හොඳින්ම වටහාගෙන ඇත්තෙමි. ප්‍රාදේශීය සභාවක සාමාන්‍ය පටිපාටිය වන කසල කළමනාකරණය, වීදි පහන් ලබාදීම, මං මාවත් ඉදිකිරීම, ජලය සැපයීම, ආයුර්වේද ඇතුළු සෞඛ්‍ය සේවා, පුස්තකාල සේවා, පෙර පාසල් කටයුතු වලින් ඔබ්බට යමින් නව අදහස හා යෝජනා සමග නූතනයට ගැලපෙන නිර්මාණශීලී සේවාවක් එළිදැක්වීම තුළින් අපගේ සේවාවන් පුළුල් කොට ජනතාවට සමීප කරදීම මාගේ දැක්මයි.
බෙන්තර පුරවරය ලෝකයට රැගෙන යන ඓතිහාසික “ගලපාත අනුබුදු කාශ්‍යප පෙරහැර” පෙරදැරිව අපගේ ආගමික හා සංස්කෘතික දායාදයන් වැඩි දියුණුකරමින් මාගේ තේමා පාඨය වන “සුන්දර බෙන්තොට” නිර්මාණය කිරීම සිදුකළ යුතු යැයි මාගේ විශ්වාසයයි. එසේම ලෝක සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයක් නිතැතින්ම උරුම බෙන්තොට තව තවත් දීප්තිමත්ව ගොඩනැගීම සඳහා අපගේ සේවාවන් උපරිමයෙන් ලබාදීම මාගේ අපේක්ෂාවයි.
ගෙවී ගිය වසරක කාල සීමාවතුළ ගරු උපසභාපතිතුමා ඇතුළු සමස්ත මන්ත්‍රී මණ්ඩලය මේ දක්වා මා හට ලබාදුන් සහයෝගය හා ලෙන්ගතු ආශිර්වාදය ඉදිරි වර්ෂය සඳහාත් මා හට ලැබෙනු ඇතැයි මා ඉතා දැඩිව විශ්වාස කරමි.
ඩී. ප්‍රේමකුමාර ලසන්ත විජේවර්ධන
සභාපති,
බෙන්තොට ප්‍රාදේශීය සභාව


